SLNCU

ලන්දේසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමේ ලේඛන

1602 දී ආරම්භ කරන ලද Vereenigde Oostindische Compagnie (VOC) නොහොත් ලන්දේසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම විසින් ආසියාව, අප්‍රිකාව සහ යුරෝපය පුරා සියවස් දෙකකට ආසන්න කාලයක වාණිජ, පරිපාලන, දේශපාලනික සහ සංස්කෘතික ක්‍රියාකාරකම් සුරක්ෂිතව ලේඛනගත කර ඇත. හේග්, ජකර්තා, කොළඹ, චෙන්නායි සහ කේප්ටවුන් ඇතුළු ස්ථාන කිහිපයක පිහිටා ඇති VOC ලේඛනාගාරවල පිටු මිලියන විසිපහක පමණ වාර්තා සංරක්ෂණය කර ඇත. මෙම වාර්තා මගින් මුල් කාලීන ගෝලීය වෙළඳ ජාල‍යන්, යටත් විජිත පාලනය, රාජ්‍ය තාන්ත්‍රිකභාවය, නීති පද්ධති, යුරෝපීය පාලකයන් සහ ප්‍රාදේශීය සමාජ අතර දෛනික අන්තර්ක්‍රියා පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දෙන අතරම, මුල් කාලීන ධනවාදය, සමුද්‍රීය තාක්ෂණය සහ ගෝලීය මට්ටමින් විවිධ සංස්කෘතීන් අතර හුවමාරුවේ සංවර්ධනය පිළිබඳ පැහැදිලි අදහසක් ලබා දේ. නෙදර්ලන්තය, ඉන්දුනීසියාව, ශ්‍රී  ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව එක්ව යෝජනා කරනු ලැබූ මෙම VOC සං‍රක්ෂිත ලේඛන, ඒවායේ විෂය පථය, අඛණ්ඩතාව සහ අන්තර්ජාතික ස්වභාවය හේතුවෙන්, පූර්ව නූතන ලෝක ඉතිහාසය අධ්‍යයනය කිරීම සඳහා වඩාත් පුළුල් හා පරිපූර්ණ මූලාශ්‍රයක් ලෙස හැඳින්විය හැකි අතර, ලෝක මතක ලේඛනයට ඇතුළත් කිරීමෙන්, නූතන ලෝකය හැඩගැස්වූ අන්තර් සම්බන්ධිත දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතික ක්‍රියාවලීන් පිළිබඳ සාක්ෂි ලෙස ඒවායේ විශ්වීය වටිනාකම හුවා දක්වයි.