SLNCU

UNESCO Chairs වැඩසටහන

යුනෙස්කෝ UNITWIN (University Twinning and Networking) මූලාරම්භය යටතේ, 1992 දී ආරම්භ කරන ලද UNESCO Chairs වැඩසටහන, යුනෙස්කෝ සංවිධානයේ විධිනියෝගයට අදාළ වන ප්‍රමුඛතා ක්ෂේත්‍රවල පර්යේෂණ, පුහුණුව සහ දැනුම බෙදාගැනීම ඉදිරියට ගෙන යාම අරමුණු කර ගත් වැඩසටහනකි. මේ සඳහා උසස් අධ්‍යාපන හෝ පර්යේෂණ ආයතන දායක වන අතර, ජාතික, කලාපීය සහ ජාත්‍යන්තර මට්ටමින් අධ්‍යයන සහයෝගිතාව ගොඩනැගීම සඳහා වන කේන්ද්‍රස්ථාන වශයෙන් හැඳින්විය හැකි ය.

UNESCO Chairs ක්‍රියාත්මක වන්නේ විශ්වවිද්‍යාල, පර්යේෂණ ආයතන, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ සිවිල් සමාජය සම්බන්ධ කරන ජාල හරහා වන අතර, අන්තර්විෂයාත්මක ප්‍රවේශයන් ප්‍රවර්ධනය කිරීමෙන්, උතුරු-දකුණු සහ දකුණු-දකුණු සහයෝගිතාව පෝෂණය කිරීමෙන් හා අධ්‍යයන දැනුම ප්‍රායෝගික විසඳුම් බවට පරිවර්තනය කිරීම මගින් සාක්ෂි මත පදනම් වූ ප්‍රතිපත්ති නිර්මාණය කිරීමට දායක වේ. 

මෙම වැඩසටහන හරහා ආයතනික ධාරිතාව ශක්තිමත් කිරීම, ජාත්‍යන්තර දෘශ්‍යතාව වැඩි දියුණු කිරීම, නවෝත්පාදන හා පර්යේෂණ විශිෂ්ටත්වයට දායක වීම සහ තිරසර සංවර්ධන ඉලක්ක සමඟ පෙළගැසුණු ජාතික හා ගෝලීය සංවර්ධන ප්‍රමුඛතා සඳහා සෘජුවම දායක වීම ඇතුළු ප්‍රතිලාභ ‍රැසක් ලබා දේ.

ශ්‍රී ලංකාව මදන්ජීත් සිං දකුණු ආසියානු ජල කළමනාකරණ ආයතනයේ (Madanjeet Singh South Asia Water Management Institute) UNESCO Chair වැඩසටහන සඳහා සම්බන්ධ වන අතර, ඒ හරහා ජල කළමනාකරණ ක්ෂේත්‍රයේ පර්යේෂණ, ධාරිතා වර්ධනය සහ කලාපීය සහයෝගිතාවට දායක වීම මගින්, දකුණු ආසියාවේ තිරසර සංවර්ධනය, දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීමේ හැකියාව සහ ජල සුරක්ෂිතතාව සම්බන්ධයෙන් තීරණාත්මක අභියෝගවලට මුහුණ දීමට අපේක්ෂා කෙරේ.