“යුනෙස්කෝ හි සමස්ත දර්ශනයට දායක වෙමින් අධ්‍යාපනය, විද්‍යාත්මක, සංස්කෘතික, සන්නිවේදන හා පාරිසරික විෂයයන් හරහා සාමය හා තිරසර සංවර්ධනය සාක්ෂාත් කරගැනීම උදෙසා ජාතික සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරීම.”
“එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය විසින් ජාති, ලිංග,භාෂා හෝ ආගම් භේදයකින් තොරව ලොව මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් සහතික කෙරෙන යුක්තිය,නීතිය,පාලනය,මානව හිමිකම් හා මූලික නිදහස වෙනුවෙන් ගෝලීය ගෞරවය තවදුරටත් වර්ධනය කරනු පිණිස අධ්‍යාපනය, විද්‍යාව, සංස්කෘතිය, සන්නිවේදනය හා පාරිසරික විෂයයන් හරහා ශ්‍රී ලංකාවේ විවිධ ජන කොටස් අතර අන්‍යෝන්‍ය සහයෝගිතාව වර්ධනය කිරීම.”
ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාව 1949 වර්ෂයේ දී පිහිටුවනු ලැබූ අතර 2024 අංක 38 දරන ශ්‍රී ලංකා යුනෙස්කෝ සඳහා වූ ජාතික කොමිෂන් සභාව පනත යටතේ සංස්ථාපනය කරන ලදි. ශ්‍රී ලංකාව තුළ යුනෙස්කෝ සංවිධානයේ විධිනියෝගය (mandate) සම්බන්ධීකරණය සහ ක්‍රියාත්මක කිරීමේ රජයේ නිල ආයතනය ලෙස ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාව ක්‍රියා කරයි.
ලංකාව සහ පැරිස් නුවර පිහිටා ඇති යුනෙස්කෝ මූලස්ථානය මෙන්ම නව දිල්ලියෙහි පිහිටා ඇති යුනෙස්කෝ කලාප කාර්යාලය අතර ප්‍රධාන සම්බන්ධීකරණ ආයතනය වශයෙන් කොමිෂන් සභාවකටයුතු කරන අතර යුනෙස්කෝවේ නිපුණතා ක්ෂේත්‍රයන් වන අධ්‍යාපනය,ස්වභාවික විද්‍යාවන්, සමාජ සහ මානව විද්‍යාවන්,සංස්කෘතිය,සන්නිවේදනය සහ තොරතුරු සම්බන්ධිත සහයෝගිතාවට සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා සහාය දැක්වීම සිදු කරයි.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂයපථය යටතේ කටයුතු කරමින්, ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාව, අධ්‍යාපන විෂයභාර අමාත්‍යවරයා විසින් සභාපතිත්වය දරනු ලබන ව්‍යවස්ථාපිත කොමිෂන් සභාවක් මගින් ප්‍රධාන ජාතික පරදු දරන්නන් එකම වේදිකාවකට ගෙන ඇත. අධ්‍යාපන විෂයභාර අමාත්‍යාංශයේ ලේකම්වරයා උපසභාපතිවරයා වශයෙන් කටයුතු කරන අතර, මහ ලේකම්වරයා කොමිෂන් සභාවේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කරයි.
සම්බන්ධීකරණ සහ උපදේශන කාර්යභාරය මගින්, ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාව යුනෙස්කෝ සංවිධානයේ වටිනාකම් ප්‍රවර්ධනය කිරීමට සහ අන්තර්ජාතික බැඳියාවන්ට අනුකූලව ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන ප්‍රමුඛතාවයන්ට දායකවීමට කටයුතු කරයි.