ශ්‍රී ලංකාවේ මහා වංශකථාව වන මහාවංශය, ක්‍රි.පූ. 6 වන සියවසේ සිට ක්‍රි.ව. 1815 දක්වා කාල පරිච්ඡේදය ආවරණය කරන, ලොව දීර්ඝතම, අඛණ්ඩ ඓතිහාසික වාර්තාවලින් එකකි. එය දකුණු ආසියාවේ, ඉතිහාස ලේඛන සම්ප්‍රදායේ මුල්ම උදාහරණය වන අතර, ශ්‍රී ලංකාවේ ඉතිහාසය පැහැදිලිව, කාලානුක්‍රමිකව සහ අනුපිළිවෙළින් ඉදිරිපත් කරයි. එහි වාර්තාවල විශ්වසනීයත්වය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සිදු කළ පුළුල් පුරාවිද්‍යාත්මක සහ ශිලා ලේඛන පර්යේෂණ මගින් සනාථ කර ඇත. මේ වන විට මෙම වාර්තා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සංරක්ෂණය කර ඇත.
දකුණු ආසියාවේ ප්‍රාථමික ඓතිහාසික මූලාශ්‍රයක් වන මහාවංශය, බුදුන් වහන්සේගේ ජීවිතය, අශෝක අධිරාජ්‍යයාගේ පාලන සමය සහ ගෝලීය ආගමක් වශයෙන් බුද්ධාගම පැතිරීම පිළිබඳ වැදගත් තොරතුරු සපයයි. මහාවංශය අග්නිදිග ආසියාවේ බුද්ධාගම ව්‍යාප්ත කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කළ අතර, ඉන්දියානු ඉතිහාසයේ, අශෝක අධිරාජ්‍යයාගේ ඓතිහාසික අනන්‍යතාව සැලකිය යුතු ලෙස නිරූපණය කර ඇත. මහාවංශයේ ආඛ්‍යාන, ආසියානු වංශකතාකරුවන්, චිත්‍ර ශිල්පීන් සහ මූර්ති ශිල්පීන් පරම්පරා ගණනකට ස්වකීය නිර්මාණයන් සඳහා ආභාසය ලබා දී ඇති අතර, එය සුවිශේෂී වටිනාකමක් ඇති සාහිත්‍ය, කලාත්මක සහ මූර්ති නිර්මාණවලට මග පාදා ඇත.
බොහෝ රටවල මහාවංශයේ අත්පිටපත් පැවැතීම හා අග්නිදිග ආසියානු සහ යුරෝපීය භාෂාවලින් කරන ලද පරිවර්තන සහ අක්ෂර පරිවර්තන (transliteration) රැසක පැවැත්ම, එහි කැපී පෙනෙන ඓතිහාසික, සංස්කෘතික, සාහිත්‍යමය, භාෂාමය සහ ශාස්ත්‍රීය වැදගත්කම පිළිබිඹු කරයි. ශ්‍රී ලාංකිකයන් සඳහා, මහාවංශය ඔවුන්ගේ මූලාරම්භය, ඓතිහාසික පරිණාමය සහ සංස්කෘතික අනන්‍යතාව සංකේතවත් කරන ජීවමාන ලේඛනයක් බඳු වේ.