SLNCU

ඉන්දියානු සාගරයේ සුනාමිය පිළිබඳ ලේඛන

මෙම භාරදූර සං‍රක්ෂිත ලේඛන ගොනුවට 2004 දෙසැම්බර් 26 වන දින සිදු වූ ඉන්දියානු සාගරයේ සුනාමි ව්‍යසනය පිළිබඳ වාර්තා ඇතුළත් වේ. මීටර් 30 ඉක්ම වූ උසකින් යුත් සුනාමි රළ පහරින් ඇති වූ විනාශය බංග්ලාදේශය, ඉන්දුනීසියාව, ඉන්දියාව, මැලේසියාව, මියන්මාරය, ශ්‍රී ලංකාව, තායිලන්තය ඇතුළු තවත් රටවල් දොළහකට විශාල බලපෑමක් ඇති කළ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ජීවිත 310,000කට වඩා අහිමි විය.

මෙම ලේඛන ගොනුව සුනාමි ව්‍යසනය, ආපදා ප්‍රතිචාර ක්‍රියාකාරකම් සහ විශේෂයෙන් පුනරුත්ථාපන හා නැවත ඉදිකිරීමේ ක්‍රියාවලීන් ලේඛනගත කළ බහු මාධ්‍ය වාර්තාවලින් සමන්විත වේ. ඉන්දුනීසියාව, ඉන්දියාව, මැලේසියාව, ශ්‍රී ලංකාව සහ තායිලන්තය ඇතුළු බලපෑමට ලක් වූ රටවල් කිහිපයක සංරක්ෂණය කර ඇති මෙම එකතුවෙහි ආසන්න වශයෙන් රේඛීය මීටර් 9,311ක් වූ ලේඛනගත වාර්තා, ඡායාරූප 500ක්, කැසට් පට 196ක්, ඉලෙක්ට්‍රොනික සීඩී/ඩීවීඩී තැටි 1,230ක් සහ චුම්භක වීඩියෝ පටිගත කිරීම් 13ක් අඩංගු වේ. ඉන්දුනීසියාව සහ ශ්‍රී  ලංකාව විසින් ලෝක මතක ලේඛනයට ඇතුළත් කිරීම සඳහා එක්ව යෝජනා කරන ලද ඉන්දියානු සාගරයේ සුනාමිය පිළිබඳ අදාළ ලේඛන ගොනුව, මෙම ව්‍යසනයේ පරිමාණය සහ එහි බලපෑමට ලක් වූ සමාජයන් විසින් ඊට දැක් වූ සාමූහික ප්‍රතිචාරය පිළිබඳ කල් පවතින මතක සටහනකි. අනාගත පරම්පරාවන් සඳහා ගෝලීය වශයෙන් වැදගත්කමක් ඇති මෙම වාර්තාවන් සං‍රක්ෂණය කිරීම, ලෝක මතක ලේඛනය වැඩසටහනේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා උපකාරී වේ.