යුනෙස්කෝ හරිතකරණ අධ්‍යාපන හවුල්කාරිත්වය (GEP) යනු දේශගුණික අර්බුදයට ප්‍රතිචාර දක්වන සහ තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කරන්නා වූ අධ්‍යාපන පද්ධති ශක්තිමත් කිරීමේ දී රටවලට සහාය දැක්වීම සඳහා 2022 වර්ෂයේ පැවති අධ්‍යාපනය පරිවර්තනය කිරීමේ එක්සත් ජාතීන්ගේ සමුළුවේදී (UN Transforming Education Summit) දියත් කරනු ලැබූ ගෝලීය මූලාරම්භයකි. මෙම හවුල්කාරිත්වය මගින් දේශගුණික විපර්යාස හමුවේ ක්‍රියා කිරීමට, පරිසරය ආරක්ෂා කිරීමට සහ තිරසර සමාජ සඳහා දායකත්වය ලබා දීමට අවශ්‍ය කෙරෙන දැනුම, කුසලතා, වටිනාකම් සහ ආකල්ප සියලුම ඉගෙනුම්ලාභීන් විසින් අත්කර ගන්නා බව තහවුරු කරනු වස් රජයන්, අධ්‍යාපන ආයතන, සිවිල් සමාජය, තරුණයන්, ශාස්ත්‍රාඥයන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ කටයුතු කරයි.
හරිතකරණ අධ්‍යාපන හවුල්කාරිත්වයෙහි අරමුණ වන්නේ පූර්ව ළමාවියේ සිට යාවජීව ඉගෙනීම දක්වා අධ්‍යාපනය තුළදේශගුණික ක්‍රියාමාර්ග සහ තිරසරභාවය සම්බන්ධ දැනුම අන්තර්ගත කිරීම තුළින් “සෑම ඉගෙනුම්ලාභියෙකුම දේශගුණික විපර්යාසයන්ට සූදානම් කිරීම” යි. එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක 4 (සැමට ගුණාත්මක අධ්‍යාපනය) ඇතුළුව, දේශගුණය සහ තිරසරභාවය සම්බන්ධ දැනුම ප්‍රතිපත්තිවලට සහ ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියට ඒකාබද්ධ කිරීම මගින් එය ගෝලීය අධ්‍යාපනය සහ දේශගුණික ඉලක්ක සඳහා දායකත්වය සපයයි.
හවුල්කාරිත්වයේ කාර්යය පරිවර්තනීය අධ්‍යාපනයේ ප්‍රධාන ස්ථම්භ හතරක් මත මෙහෙයවනු ලැබේ:
-හරිතකරණ පාසල් (Greening Schools): තිරසරභාවය යන්න පහසුකම්, මෙහෙයුම්, පාලනය සහ ශිෂ්‍ය සහභාගිත්වයේ කොටසක් වන විට දී සම්පූර්ණ පාසල් ප්‍රවේශය (Whole-school approach) දිරිගැන්වීම.
-හරිතකරණ විෂයමාලා (Greening Curriculum): දේශගුණික විපර්යාස සහ තිරසර සංවර්ධනය සියලු මට්ටම්වලදී සහ විෂයයන් තුළ දී විෂයමාලා සහ ඉගෙනුම් ප්‍රතිඵලවලට ඒකාබද්ධ කිරීමට සහාය වීම.
-හරිතකරණ ගුරු පුහුණුව සහ ධාරිතා (Greening Teacher Training & Capacities): දේශගුණික ක්‍රියාකාරකම් හා සබැඳි අධ්‍යාපනය (Climate –smart education) ලබා දීම සඳහා ගුරුවරුන්ගේ සහ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ ධාරිතාව ගොඩනැඟීමෙන් අධ්‍යාපන පද්ධති ශක්තිමත් කිරීම.
-හරිතකරණ ප්‍රජා (Greening Communities): පන්ති කාමරයෙන් යාවජීව ඉගෙනීම ප්‍රවර්ධනය කිරීම සහ දේශීය දේශගුණික විපර්යාසවලදී ක්‍රියාත්මක වීමට ප්‍රජාවන් සවිබලගැන්වීම.